Spread the love

දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදෙයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්  මුහුණ දෙන  ගැටලු පිළිබඳ   ඊයේ (07) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ   පැවති සාකච්ඡාවේදී  අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන්

දැනට අප රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000කි. නමුත් අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය  පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු බලන බවයි සඳහන් වෙන්නේ.

දැනට දේශීය පොල්තෙල් සඳහා අයකරනු ලබන වැට් බද්ද ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර කෙසේ වුව ද මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බව පැවසූ  අමාත්‍යවරයා දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කර්මාන්තකරුවන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් යෝජනාවලිය කඩිනමින්  සකස් කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.