Spread the love

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළැඹීමෙන් පසු රජය විසින් එම වැඩපිළිවෙලට පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටී. මෙය වූකලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව සහන පැකේජයක් ලබාගන්නා පළමු අවස්ථාව නොවේ. අවසන් වරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළැඹි වැඩසටහන පවා (16වන සහන පැකේජය) 2019 වසරේ බලයට පැමිණි අවස්ථාවේ වර්තමාන රජය විසින් හදිසියේ අවසන් කරන ලදී.

ශ්‍රී ලංකාව සමගින් විස්තීර්ණ ණය පහසුකමක් සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, පීඩාවට පත් පිරිස් ආරක්ෂා කරමින්, දූෂණය වැලැක්වීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ වර්ධන විභවයන් විවර කර ගන්නා අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසර බව නැවත ගොඩනැඟීම ඉලක්ක කොට ගත්තකි.

වත්මන් රජය මෙම පොරොන්දු ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. කෙසේ වුවද, රජය මෙතෙක් කටයුතු කර ඇති ආකාරය සලකා බලන කල, ඉදිරියට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදී ඇති පොරොන්දු ඉටු කරනු ඇත්තේද යන්න පිළිබඳ සැක සංකා මතුවේ.

පහත සඳහන් හේතු සාධක මත මෙම ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාදීමේ කාර්යයට සහාය දැක්වීමෙහි ලා සමගි ජන බලවේගයට පවත්නේ බරපතල ගැටලුකාරී තත්ත්වයකි:

පාරදෘශ්‍යභාවයෙන් තොරවීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමගින් අවබෝධයකට එළැඹීමෙන් අනතුරුව එම අරමුදල සමග එකඟ වූ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජයට දින 200ක කාලයක් ගතවිය. මෙම කාල පරිච්ඡේදය තුළ, රජය පාර්ලිමේන්තුව හෝ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හරහා අදාළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා සිදු නොකරන ලදී.

රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම
රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ කාර්යයෙහිදී ආදායම වර්ධනය කරගැනීම කෙරෙහි පමණක් අවධානය යොමුකර ඇති අතර එ් හා සමාන වැදගත්කමක් පවත්නා වියදම් කපා හැරීම කෙරෙහි එතුළ කිසිදු අදහසක් පළකොට නොමැත.

වැඩකරන පන්තියේ ජනතාව මත අසාධාරණ ලෙස බදු බර පැටවීම
ආදායම වර්ධනය කරගනු පිණිස දැනටමත් බදු දැලට හසුවී සිටින බහුතරයක් වූ වැඩකරන ජනතාව මත තවදුරටත් බදු ඉහළ නැංවීම නමැති පහසු මඟ ගැනීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළැඹ ඇත. බදු තලයන් පටු කොට ඇති අතර බදු අනුපාත තියුණු ලෙස ඉහළ නංවා ඇත. ඉහළ උද්ධමනය, බලශක්ති පිරිවැය වර්ධනය වීම ආදී බරින් ජනතාව දැනටමත් පීඩාවට පත්ව ඇත. බදු ජාලය පුළුල් කොට වසර ගණනාවක් පුරා බදු ගෙවීම් පැහැර හැර ඇති ඉහළ ආදායම් ලබන කණ්ඩායම් වෙතින් බදු රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් රජය වෙත නොමැත. ධන හා ප්‍රවේනි බදු හරහා පොහොසතුන් මත බදු පැනවීමේ කාර්යය හඳුන්වා දීමට නියමිතව ඇත්තේ 2025 වසරේදීය.

සමාජ ආරක්ෂණ ජාල
මෙම වැඩපිළිවෙල මගින් දුගී හා සමාජයේ බලපෑමට ලක්වන කොටස් වෙත මුදල් ලබාදීම හරහා අඛන්ඩ සහායක් ඔවුන්ට ලබාදීම අවශ්‍ය වේ. අවභාවිතා කළ නොහැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා සහන ලැබිය යුතු පුද්ගලයන් නිසි පරිදි හඳුනාගෙන සහන ලබා දිය යුතු වුවද, සහන ගෙවීම් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී දැනට පවත්නා දේශපාලනීකරණය වූ ක්‍රියාවලියම නොකඩවා භාවිත කිරීමට රජය විසින් යෝජනා කර ඇත.

මූල්‍ය සේවා අංශයේ ස්ථාවරත්වය
ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මූල්‍ය සේවා අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කරන ක්‍රමවේදයක් නොමැත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ දේශීය බැංකු පද්ධතිය ද්‍රවශීලතා හා මූලධනය ප්‍රමාණවත් වීම යන දෙඅංශයෙන්ම අස්ථාවර කරමින් දේශීය බැංකු අංශයට හානිකර ප්‍රතිවිපාකයන් ඇති කරවනු ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යය තුළ සේවා නියුක්තික විශ්‍රාම අරමුදල් වන සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි අරමුදල්වල වටිනාකමද බරපතල ලෙස පහල දමනු ඇත.

2018 වසරේ සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා 2022 වසර තුළ සිදුවූ වියවුල් සහගත ස්වභාවයන් ද හේතුකොට ගෙන ඇති වූ අභියෝගාත්මක සිව් වසරක කාල පරිච්ඡේදය හේතුවෙන් දැනටමත් අධික අක්‍රීය ණය ප්‍රමාණයකින් පීඩාවට පත්ව සිටින දේශීය බැංකු හා මුල්‍ය සේවා අංශයන් සමස්තයක් වශයෙන් දුර්වල කිරීමට හේතු පාදක වන ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන්නෙමු.

වගවීමේ හා දූෂණ විරෝධි ක්‍රියාමාර්ගයන් ප්‍රමාණවත් නොවීම.
දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් වන ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ජනාධිපතිවරයා විසින් හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු සහතික වී නොමැත.

ගිවිසුමේ දක්නට ලැබෙන පෙර සඳහන් කරන ලද දුර්වලතා සැළකිල්ලට ගනිමින් සමගි ජන බලවේගයේ අදහස වනුයේ දැනටමත් ක්‍රියාත්මකව පවත්නා හා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීමට බැදී සිටින මෙම ගිවිසුම සම්බන්ධයෙන් රජයට සහාය දැක්වීම නිරර්ථක ක්‍රියාවක් බවයි. පාර්ලිමේන්තුව විසින් අනුමත කළද, නොකළද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම යටතේ එළැඹි බැඳීම් සපුරාලීමේ සම්පූර්ණ වගකීම රජය සතු වේ. එබැවින්, මෙම ගිවිසුම පොදුවේ රටේ ජනතාව ද, විශේෂයෙන් බලපෑමට ලක්වන ජන ප්‍රජාවන්ද ආරක්ෂා කිරීම උදෙසා මනා කොට සැලසුම් කරන ලද්දක් නොවන බැවින් සමගි ජන බලවේගයේ අපි මෙම ගිවිසුමට ඡන්දය ප්‍රකාශ කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් සේ සලකමු.

අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක