Spread the love

මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ආණ්ඩුවඊයේ (22) තීරණ කිහිපයකට එළැඹියේය.

වන අලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවේ 6 දෙනෙකුට අනතුරින් දිවි අහිමිවූ අතර අවුරුදු 03ක් පමණ වූ අලි පැටවෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අලි පැටවා ද ඊයේ (22) පස්වරුවේ මියගියේය.

ඊයේ පස්වරුවේදී අලි පැටවාද මියගියේ දින දෙකක් මුළුල්ලේ ජීවිතයක් මරණයත් අතර සටනක නියැලෙමිනි.

අලි පැටවාගේ ජීවිතය බේරාගැනීම මහත් පරිශ්‍රමක් දැරූ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ ගිරිතලේ වනජීවි නිලධාරීන් පැවසුවේ, දුම්රියේ ගැටී කොන්දට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් අලි පැටවා මියගිය බවය.

ඒ අනුව හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවේ සියලු වනඅලින්ට දුම්රිය අනතුරින් දිවි අහිමි විය.

මින්නේරිය හබරණ දුම්රිය මාර්ගය නිරන්තයෙන් වනඅලි ගැවසෙන මාර්ගයකි. 

කෙසේ වෙතත් ඇතැම් දුම්රිය රියදුරන්ගේ සැලකිලිමත් ධාවනය හේතුවෙන් අලි දුම්රියේ ගැටෙන අවස්ථා වළක්වා ගත හැකි වේ. 

කෙසේ වෙතත්, මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී පැවැත්විණි. 

ඊට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, දුම්රිය බලධාරීන්, වැඩබලන වනජීවි අධ්‍යක්ෂ, පොලිසිය ඇතුළු නිලධාරීන් එක්ව සිටිහය.

ඉන් අනතුරුව ඔවුන් විශේෂ දුම්රියකින් මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටස නිරීක්ෂණය කළේය.

මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි රංචුවක් මියයෑම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ අදාළ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා පැවති සාකච්ඡාවේ තවත් අදියරක් ලෙස මෙම නිරීක්ෂණය සිදුකෙරිණි.

එහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා.”අපි සාකච්ඡා කරගත්තා මේ පාර අඩි 15-20ක් දෙපැත්ත සුද්ධ කරන්න ඕනේ අලියා පේන්න.  ඒ අලි පැටවුන්ට ක්ෂණිකව කෝච්චිය දකිනකොට මාරු වෙන්න විදිහක් නෑ මේකේ පිහිටීම අනුව ඒ පිහිටීම වෙනස් කරන්න අපි සාකච්ඡා කරගත්තා. ඒ වගේම  මුරකුටි, සූර්ය පැනල පාවිච්චි කරලා මේක ආලෝක කරන්නත් සහ කවුඩුල්ල සහ මින්නේරිය අතර අලියාට මාරැ වෙන්න අලි කොරිඩෝ හදන්නත්, අවශ්‍ය කරන භූමිය සකස් කරන්නත් අවශ්‍ය මානව සම්පත් මේ සඳහා ප්‍රමාණවත්ව යෙදවීමටත් අපි සාකච්ඡා කරගත්තා. ඒ වගේම දුම්රිය වේගය පාලනය කිරීමටත් අපි දැඩි ලෙස සාකච්ඡා කරගත්තා”යැයිද පැවසුවේය.