Spread the love

අද (25) දිනයේදී ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර පළාතේද උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි.

ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකළපුව, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.