Spread the love


ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපිය අධ්‍යනය කර කරුණු සටහන් කර ගැනීමට හැකි වී ඇත්තේ 40% ක පමණ කොටසක බව සෙල්ලිපිය සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටු සම සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
සෙල්ලිපියෙහි ඉතිරි 60% ක ප්‍රමාණය යම් දෝෂ සහිත බැවින් කියවීමට අපහසුතාවයක් ඇති අතර එය වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවත් කියවා අවසන් කර ගැනීමට හැකි වූ සෙල්ලිපි කොටස මඟින් පුරාවිද්‍යාත්මක සාධක සහිත බොහෝ කරුණු නිගමනය කර ගැනීමට හැකි වී තිබෙන බවත්,මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් ඇති බවත්, මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක්
හමු වී ඇති බවත් හෙතෙම එහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති මාධ්‍ය
හමුවට එක් වෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය.
මෙම සෙල්ලිපිය මඟින් ජනාවාසයක් , මැණික් කර්මාන්තය, කුමාරවරයෙක්, ගම් පාලකයෙකු හෙවත් ග්‍රාම නිලධාරී පුද්ගලයෙක් , භික්ෂූන් වහන්සේලා, වෙළෙඳ ආයතයනයක්, දාගැබක් ආදී මුලාශ්‍රයන් 10 ක් පිළිබඳව කරුණු හෙළි කරගෙන ඇති බව කමිටු සම සභාපති ආචාර්ය මාලනී ඩයස් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සෙල්ලිපිවලට වඩා වෙනස් තේරුම් තිබෙන පද මෙම දිඹුලාගල සෙල්ලිපියෙහි අඩංගු බවත් මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කර ඉදිරියේදී තවත් කරුණු ඉදිරිපත් කරන බව ද මාලනී ඩයස් මහත්මිය සඳහන් කළාය.
යම් යම් පුද්ගලයන්ගේ විවිධ මත සෙල්ලිපිය සම්බන්ධව තිබුණද විද්වත් කමිටුවේ මතය පිළිගන්නා අතර මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් තව දුරටත් හැදෑරීමක් කළ යුතු බවත් ජනතාවට මෙහි පිටපත බැලීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව ද සලසා දෙන බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම සෙල්ලිපිය බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබි ඇති බවත් 2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගෙන තිබෙන බවත් මෙම මාධ්‍ය හමුවේදි මහාචාර්යවරු දෙපල අදහස් පළ කලහ.
දිඹුලාගල සෙල්ලිපිය කියවීම සඳහා පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් / පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්( වැඩ බලන) කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත මෙහිදී පිළිගැන්වූවාය.