මෑත කාලයේදී ශ්‍රී දළදා වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවත් එල්ල කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය චෝදනා සහ මිථ්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල නාහිමියෝ කියා සිටියහ.
වෙනත් යම් යම් සංවිධාන විසින් ආධාර උපකාර එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි පුද්ගලයන්ට හසු නොවන ලෙසත්, එලෙස කිසිදු සංවිධානයකට මුදල් එකතු කිරීමට දළදා මාලිගාව හෝ රජය කිසි ආකාරයක අවස්ථාව ලබාදී නැති බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ.
‘සිරි දළදා වන්දනාව’ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේලා මේ බව කියා සිටියහ.
‘සිරි දළඳා වන්දනාව’ අප්‍රේල් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් මෙහිදී පවසා සිටියේ පැමිණෙන ජනතාව අනුව ඇතැම්විට තවත් දින කීපයක් ශ්‍රී දළදා හිමියන් ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට අවස්ථාව හිමිවෙතැයි අපේක්ෂා කරන බවය.
මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල නාහිමියන් මෙහිදී පවසා සිටියේ ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේ එක් දිනකට 35,000 ක පමණ බැතිමතුන් පිරිසකට රාත්‍රි 7.30 සිට අලුයම 2.00 දක්වා කාලය තුළදී රාත්‍රි ආහාරය ලබාදීමේ කටයුතු ශ්‍රී දළදා මාලිගාව මගින් සිදුකරන බවය.
ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් මහනුවරට පැමිණෙන බවත්, ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නට රජය කටයුතු කරන බවත්, මෙහිදී විශාල ඉවසීමක් කැපවීමක් සහිතව මෙම උතුම් කටයුත්තට දායක වන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙහිදී කියා සිටියේය.
බුද්ධ ශාසන, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.