කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9-12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙස පනවා තිබූ කොන්දේසිය ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි සහ තරිදු වික්රමනායක යන නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලබුවාය.
නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙස ද මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
එමෙන්ම සැකකරුවන් දෙදෙනාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරිය ඊට අවසර ලබා දුන්නේය. ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දන්වා යවන ලෙසට නියෝග කළ අතර ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට අවවාද කළාය.
මෙම නඩුවේ ගනුදෙනුවට අදාළ බව පැවසෙන ප්රශ්න ගත වාහනය ලියාපදිංචි අයිතිකරුට මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්රකාශ කරමින් එම වාහනය නඩු භාණ්ඩයක් හෝ අපරාධයක් සම්බන්ධ භාණ්ඩයක් බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නැති බවට පූර්වගාමී මහේස්ත්රාත්වරිය තීන්දුව ලබා දෙමින් දන්වා ඇති බවත් එම වාහනය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට අධිකරණයට හැකියාවක් නැති බවත් තීන්දුව ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත් වරිය දන්වා සිටියාය.
නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති ප්රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණයේ පෙනී සිටියේය.