Spread the love

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ ඥාතියෙකු වෙඩි තබා මරා දැමීමට පැමිණි හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසියේ නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම මත කොටු කරගැනීමට හැකි වී ඇත.

ඒ, එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා රැගෙන පැමිණි පිස්තෝලය සහ පතරොම් 10ද සමග ය. ඇල්පිටිය භාර පොලිස් අධිකාරිවරයා පවසන්නේ, නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීම නොවෙන්නට විනාඩි දෙකක් ඇතුළත තුවක්කුකරුවන් මෙම පුද්ගලයා මරා දමන බව ය. මෙම වෙඩි ප්‍රහාරය කොස්ගොඩ සුජීට පාඩමක් ඉගැන්වීමේ අරමුණෙන් රත්ගම විදුරගේ පාර්ශවය විසින් කරන්නට සූදානම් කර ඇති බවට සැක කරන බව පොලිසිය කීය.

මීට පෙර ද කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකුගේ හිතවතෙකුට මොවුන් විසින් වෙඩි තබා මරා දමන්නට උත්සහ දරා ඇතත් එය ව්‍යර්ථ වීමෙන් පසු මෙම වෙඩි තැබීම කරන්නට උත්සහ කර ඇතැයි පොලිස් විමර්ශනයේදී හෙළි වී ඇත.

ඉලක්කගත පුද්ගලයා සිය යතුරුපැදියෙන් සිය නිවසට එද්දී මෙම වෙඩි තැබීම කරන්නට නියමිතව සිටිය ද ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා කිරීමට සැලසුම් කළ මිනිස් ඝාතනය වැළකී ගොස් ඇත.

එම තොරතුරත් සමග මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඉලක්කගත පුද්ගලයාගේ නිවස ආසන්නයේ සැඟව සිටි තුවක්කුකරුවන් දෙදෙනා කොටු කරගෙන තිබේ.

ඇල්පිටිය පොලිස් වසමේ පිටුවල සමගි මාවතේදී යතුරුපැදියකින් පැමිණ සිටි තුවක්කුකරුවන් දෙදෙනා මෙසේ අත්අඩංගුට පත් වූ අතර ඔවුන් මීටියාගොඩ නවගම ප්‍රදේශයේ පදිංචි 21 හා 31 වියැති දෙදෙනෙකු බව පොලිසිය කියයි.

මින් එක් සැකකරුවෙකු දැනට යුද්ධ හමුදාවට අනුයුක්තව සෙබළකු ලෙස සේවය කරන අතර අනෙක් පුද්ගලයා යුද්ධ හමුදාවෙන් ඉවත් කළ සෙබළෙකු බව කියයි.

හමුදා සේවයේ නියුතු සෙබළා නිවාඩුවට පැමිණ සිටියදී මෙම සිද්ධියට සම්බන්ධ වී තිබෙන බව පොලිසිය කියයි.

මීට පෙර මොවුන් කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු ඝාතනය කිරීම සඳහා අනුරාධපුර තලාව ප්‍රදේශයට ගොස් ඇතත් එම සැලසුම අසාර්ථක වී ඇති අතර ඉන්පසුව විදේශගතව සිටින පුද්ගලයාගේ උපදෙස් මත මෙම ඝාතනයට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ. විදේශගතව සිට මෙහෙයවා ඇති මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරේ.

ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක විජේසිංහ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරයි.