Spread the love

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩ සටහන නමින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපල ඉළක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමත් මෙම අන්තර් සහයෝගිතා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණු වෙති.

එමෙන්ම තේ කර්මාන්තය පාරිසරික හිතැති වගාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා මෙම අමාත්‍යාංශයේ ඉල්ලීම මත Ethical Tea Partnership සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වනරෝපා ඩීවෝට්ස් ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය සඳහා ජාතික තිරසර ජෛව ස්කන්ධ වගාව හා මූලාශ්‍ර සහතික කිරීමේ ජාතික රාමුව පිළිබඳ වාර්තාව ද මෙම අවස්ථාවේ දී බාරදෙනු ලැබීය.

විශේෂයෙන් තේ වියලීම සඳහා වසරකට දර මෙට්‍රික් ටොන් 560,000ක් අවශ්‍ය වන අතර ඒ සඳහා වසරකට ගස් ලක්ෂ 15ක් කපා දැමීමට සිදුවේ. මේ නිසා තේ නිෂ්පාදනයේ දී පාරිසරික හානියක් සිදු නොවන අයුරින් දර ලබා ගැනීම හා ඊට විකල්ප ක්‍රියාත්මක කිරීම මෙම ජාතික රාමුව තුළින් හඳුන්වා දී ඇත.

මෙම දර අවශ්‍යතාවය සඳහා වැවිලි සමාගම් සතුව සීමිත වන වගා ප්‍රමාණයක් පැවතියත් තේ නිෂ්පාදනය කරන සමාගම්වලින් සියයට 65කට තවමත් ස්ථිර වන වගාවන් නොමැත. තවමත් ඔවුන් දර ලබා ගන්නේ බාහිර පාර්ශ්ව වලිනි.

මෙම ජාතික රාමුව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දීම සිදු කෙරීණි.