Spread the love


නිමල් රාජපක්ෂ-

ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ව්‍යාජ ලිපිනයන්ට තැපැල් මගින් එවා තිබු රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) මත්පෙති තොගයක් රේග මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406ක සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසර තුළ මේ දක්වා තැපැල් තක්සේරු කාර්යාලයේ රේගු නිලධාරීන් විසින් රුපියල් මිලියන 86 වටිනාකම ඉක්මවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව ඇති බවටය.