Spread the love

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය USD 367,550ක් (ශ්‍රී ලංකා රුපියල් 133, 604, 425) වටිනාකමකින් යුත් දෙමුහුන් බඩඉරිඟු බීජ තොගයක් අද (22) මෙරටට පරිත්‍යාග කරයි.
මෙම බීජ තොගය මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුනේ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව නඟා සිටුවීම සඳහා කරන ලද මැදිහත් වීම මත කරන ලද ඉල්ලීම ප්‍රථිපලයක් ලෙසිණි.,
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති POJ HARNPOLL, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත HANNAH SINGER, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත MARLIN HERWIG, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් 1,25000ක පමණ බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර තිබුණත්, බඩඉරිඟු බීජ සපයා ගැනීමට තිබූ අපහසුතාවය නිසා මෙවර බඩඉරිඟු වගාව හෙක්ටයාර් 60,000ක වගා කිරීමට කටයුතු යොදා ඇත. දැනට බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 625ක් ශ්‍රී ලංකාව සතුව පවතී. ඊට අමතරව බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක් ලබා දීම සම්බන්ධව මහින්ද අමරවීර මහතා JICA, UNDP සංවිධානවලටත්, විශේෂයේන් තායිලන්ත රජයටත් තම ස්තුතිය පළ කළේය.

මෙහිදී අදහස් පළ කළ ඇමතිවරයා, 2022/23 මහ කන්නයේදී අඩු තරමින් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා කටයුතු සැලසුම් කළත්, ඒ සඳහා අවශ්‍ය බීජ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1400ක් සපයා ගැනීම අසීරු වූ බව සඳහන් කළේය. නමුත් අද (22) දින පරිත්‍යාග වශයෙන් ලැබුණ දෙමුහුන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක් එක් ගොවියෙකුට කිලෝග්‍රෑම් 05ක් බැගින් ගොවීන් 28,800 කට නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත්, විශේෂයෙන්ම රාජකීය තායිලන්ත රජයට තම ස්තූතිය පළ කරන බව ද පැවසීය.