Spread the love

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රීරෝද රථ රැකියාවේ නිරත රියදුරන් වෙත අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

“රෝද තුනේ රැකියාවට අලුත් එළඹුමක්- ලෙන්ගතුකම ” ලෙස නම් කර ඇති ජාතික වැඩසටහන හම්බන්තොටින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන පිළිබදව එම කර්මාන්තයේ නිරත ජනතාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ඩී.වී.චානක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.

මේ තුළින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩි දියුණු කර ඒ මගින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීම අරමුණවේ.

මේ සදහා ජලනල නඩත්තුව, විදුලි කාර්මික, වඩු කර්මාන්තය, කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන්ට පුහුණු වැඩසටහන් සිදු කරන අතර ඒ තුළින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදී එයට අදාළ උපකරණ සැපයීමද සිදු කිරීමට කටයුතු කර ඇත.

2024 වර්ෂයේදී ඒ සඳහා යෝජිත මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රු. මිලි. 5.00කි.මුළු ප්‍රතිලාභීන් ගණන 560 වන අතර පළමු අදියරේදී හම්බන්තොටින් 70 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.