Spread the love

රටක සංවර්ධනයට නීති හා ප්‍රතිපත්ති අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා පවසයි.

නීති සහ ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එමගින් තරුණයන්ට අවස්ථා නිර්මාණය වන, පාලන තන්ත්‍රයට සම්බන්ධ විය හැකි වටපිටාවක් නිර්මාණය වෙයි. ඊට දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජනරජ පෙරමුණ තාරුණ්‍යයට අවස්ථා ලබා දෙන සහ නිර්මාණය කරන දේශපාලන පක්ෂයකි. එහි නායක පාඨලී චම්පික රණවක මහතා තරුණයන්ගේ හැකියා සහ දක්ෂතා පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිත පුද්ගලයෙකු බව තීක්ෂණ ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

ඒ නිසා තරුණයන්ට අනාගත අපේක්ෂා සාක්ෂාත් කර ගත හැකි ක්‍රියාවලියක් එක්සත් ජනරජ පෙරමුණ යටතේ ඉදිරිපත් වන බව ඔහු පෙන්වා දුන්නේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණු තරුණ සමුළුව අමතමිනි. දැක්මක් සහ දර්ශනයක් ද, ප්‍රතිපත්තියක් ද සහිත නායකත්වයක් පක්ෂය සතුය.

ඒ නිසා තරුණ ප්‍රජාව ගේ අනාගතය සුරක්ෂිත වනු ඇතැයි ගම්මන්පිල මහතා විශ්වාස කරයි. තරුණ ප්‍රජාවට බලපාන හඳුනාගත් ගැටලු රැසක් පවතී. ඒවා ප්‍රධාන සාධක හයක් යටතේ වර්‍ග කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ක්‍රියාකර ඇත.

සක්‍රිය දේශපාලනයට දායකවීමට ඇති අවස්ථා සීමාසහිත වීම, තරුණ සෞඛ්‍ය බිඳවැටීම හා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, විරැකියාව සහ ආර්ථික මූලාශ්‍ර බිඳ වැටීම, පසුගාමී අධ්‍යාපනය තුළ ගෙවීයන තාරුණ්‍යය, නව ගෝලීය ප්‍රවණතා සමග එක්වීමට පවතින අවහිරතා සහ අසමානතාව ආදිය එහිදී අවධානයට ලක්ව තිබේ. එම ගැටලු විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය සූදානමින් සිටී. ඒ සම්බන්ධ විශේෂ කරුණු පැහැදිලි කිරීමේ ඉදිරිපත් කිරීමක් ද මෙහිදී සිදුවිය.