Spread the love


නිමල් රාජපක්ෂ-

තරුණයින්ව දේශපාලනය සඳහා පාවිච්චි කරන යුගය අවසන් කර ඔවුන් අලුත් මාවතකට ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කරයි.

තරුණයින්ට සුදුසු තැන දේශපාලඥයින්ගෙන් තොරව ලබා දීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහි දී සාකච්ඡා වූ අතර, පසුගිය කාල වකවානුවේ ජාතික තරුණ සේවා සභාව දේශපාලඥයින්ගේ වැඩ වලට යොදා ගැනීමේ අනිටු ඵල විපාක ද සාකච්ඡා විය. තරුණයා දේශපාලනයෙන් මුදවාගෙන ස්වාධීනව සිතිමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ වගකීම හා ඒ සදහා සැළසුම්කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ජාතික තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් සිදු කළ යුතු බව මෙහි දී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමු වූ අතර, ජාත්‍යන්තරයේ සිට ගම දක්වා ම තරුණ සේවා සභාවේ සේවාවන් පුළුල් කිරීමට නව ක්‍රමවේදයන් සකස් කළ යුතු බව ද මෙහි දී සාකච්ඡා විය.
මූලික අදියරේ දී තරුණ තරුණියන් ලක්ෂ 15 ක් බදවාගෙන ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීමේ කටයුතු කඩිනමින් සකස් කර ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කළ යුතු බව මෙම සාකච්ඡාවේ දි අනාවරණය විය.
මෙම සාකච්ඡාව සදහා යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර , ජනාධිපති තරුණ කටයුතු අධ්‍යක්ෂ රන්දුල අබේවීර , ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න ම, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විජිතා බස්නායක , අධ්‍යක්ෂ (සැළසුම්) මදුකා එස්.චන්ද්‍රමාලි , මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හා ගෘහ නිර්මාණ ශිල්පී ඩෙනිස් ප්‍රනාන්දු , රංගන ශිලපි හා ප්‍රචාරක නියෝජිත කුමාර ජයකාන්ත යන මහත්ම මහත්මින් සහභාගිවුහ.