Spread the love

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වෙයි..

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට දන්වා සිටී

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බැවින් අද දින (31) දහවල් 12:10 ට රඹෑව, තෝපූර් සහ මහවිලච්චිය ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.