Spread the love

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකකිරීම සම්බන්ධයෙන් මාස 09ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පලකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් ජනවාරි මස 09 වනදා මාස 09 ක ලිහිල් සිරදඬුවම් සහ රුපියල් 1,500ක දඩයක් නියම කළේය. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.එම අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග කොට අවසන් වන තෙක් තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කොට තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළේය.එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් නීතීඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේශ් සෙනෙවිරත්න යන මහත්වරු සමග පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරදකරු කරනු ලැබූ විත්තිකරුවකු අභියාචනයක් ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදාහළ හැක්කේ ඇප පනතේ 19(2) වගන්තියට අනුව පමණක් බව සඳහන් කළේය.එම වගන්තියට අනුව ඇප ඉල්ලීමක් සලකා බැලිය හැක්කේ යම් විත්තිකරුවකුට එල්ල වී තිබෙන චෝදනාවල බරපතළභාවය සහ ඔහුගේ පෙර ක්‍රියා කලාපය යන කරුණු මත පමණක් බවය. එහෙත් මහෙස්ත්‍රාත්වරයා එම නීතිමය ප්‍රතිපාදනය සැලකිල්ලට නොගෙන ඇප ලබාදීමට සුවිශේෂ කරුණු නොමැති බව සඳහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනයට යටත්ව සිටින විත්තිකරුවෙකුට ඇප නියම කිරීමේදී  මහෙස්ත්‍රාත්වරයෙකු විසින් සැලකිල්ලට භාජනය කළ යුත්තේ ඇප පනතේ 19(2) වගන්තිය පමණක් බව සඳහන් කළේය.එහෙත් සුවිශේෂී කරුණු නොමැති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවන බවත් රජයේ නීතිඥවරිය සඳහන් කළාය.ඒ අනුව අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.