Spread the love


නිමල්  රාජපක්ෂ

ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ තමන් විශ්‍රාම යාමේදී හිමි වූ පාරිතෝෂිකය හෝ බැංකු තැන්පතුව ආදියට ලැබෙන ස්ථාවර පොලිය බවයි.
ණය ලබාගත් පිරිස් විසින් පසුගිය වකවානුවේදී , රටේ බැංකු පොලී අනුපාතිකය අඩු කරන ලෙස වශයෙන් ඉල්ලීම් කළ බවත් , ඒ අනුව එම ණය පොලී අනුපාතය අඩු කිරීමේදී නැතැතින්ම සිදුවන පරිදි බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයද පහළ ගිය බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
මීට පෙර අවස්ථාවල් වලදී එවැනි තත්ත්වයක් ඇති වූ විට රජය යම් ප්‍රතිශතයක පොලී අනුපාතියක් එකතු කර ජ්‍යෙෂ්ථ පුරවැසියන්ට ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් බැංකු වැඩිපුර ගෙවූ පොලී සඳහා රුපියල් බිලියන 88 ක මුදලක් රජය  බැංකු වෙත ගෙවිය යුතුව ඇති බවද සඳහන් කලේය.
ඒ අනුව එක් පසෙකින් රුපියල් බිලියන 88 ක මුදලක් බැංකු වලට ගෙවීමට තිබියදී අනෙක් පසින් ගිණුම් හිමියන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් පොලී අනුපාතිකය අඩුවීමේ ගැටළුවට මුහුණ දී සිටින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි භාන්ඩාගාරයට මෙම ගැටළුවට ලබාදිය හැකි පිලිතුර සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවත් , ඒ අනුව එයට සාධනීය පිලිතුරක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කලේය.