Spread the love

නිමල් රාජපක්ෂ


ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ජාතික හා ජාත්‍යන්තර පදක්කම් දිනූ කීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් හා සුහද හමුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙයියන්තුඩුව පිහිටි ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.


එහිදී මෙතෙක් ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙය වූ වොලිබෝල්, බීච් වොලිබෝල්, දැල් පන්දු කණ්ඩායම්හි නායක නායිකාවන් හා 1991 වසරේ සාග් තරගාවලියේ වොලිබෝල් කාන්තා තරගයේ රන් පදක්ම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යවරයා අතින් ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකා ධජය ලෝකය ඉදිරියේ ප්‍රදර්ණය කරන්න පුලුවන් කඩිනම්ම ක්‍රමය ක්‍රීඩාවයි. පසුගිය වසර 20 ක කාලය තුල ජාතික තරුණ සේවා සභාවෙන් හෝ ජාතික වශයෙන් ක්‍රීඩාවේ දක්ෂයන් බිහි වූයේ බොහෝ අඩුවෙන්.
අපි අතීතය ආවර්ජනය කළ යුතුයි අනාගතය සාර්ථක වෙන්න. කතා කිරීමට අප්‍රසන්න, දේශපාලඥයින් තිත්ත වූ යුගයක් ගෙවී ගියා. දැන්වත් අපි නිවැරදි ගමනක් ආරම්භ කළ යුතුයි. ජනතාව දේශපාලඥයින්ට හරි මාර්ගයේ යාමට පොළබවනවා වගේම නිළධාරීන් තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමේ ප්‍රධාන වගකීම සිදු කළ යුතුයි. ඒ වගේම රටේ ජනතාව මහන්සියෙන් වැඩ කළ යුතු වෙනවා. එසේ වුවහොත් පමණයි මේ රට දියුණු කළ හැක්කේ.


අද මේ සභාවේ ඉන්නේ ජාතික හා ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩාවට ආදරේ කරණ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්. කනගාටුවට කරුණ ඔවුන් කිසි කෙනෙක් ජාතික, පලාත්, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල නිළතල දරන්නෙත් නැහැ. මෙන්න මේ තත්ත්වය තමයි වෙනස් කළ යුත්තේ. මෙතන වෙනස් නොකර මේ රටේ ක්‍රීඩාව හදන්න බැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය පළවෙනි තීන්දුව අමාත්‍යවරයා ලෙස මම ගත්තා. නීති වෙනස් කළා. සංගමයක ප්‍රධාන නිළතල දරන්න හැකි වෙන්නේ අවුරුදු දෙක බැගින් දෙවතාවයි. ඊට පස්සේ අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න ඕනේ. නිළවරණයකට ඡන්දය පාවිච්චි කිරීමටනම් ක්‍රිඩා සංගමයක් අදාල තරඟාවලි පවත්වා තිබිය යුතුයි. ස්ථීර ක්‍රීඩා සංචිතයක් සිටිය යුතුයි යනු කරුණු ඇතුලත් කළා. විශ්‍රාම යන වයස රටේ පොදු විශ්‍රාම වයසත් පසු කරලා අවුරුදු 70 ව දක්වා පමණක් තනතුරුවල සිටිය යුතු ලෙස ලෙස මම නීති සකස් කළා.
මේ වයස් කාල සීමාවත් මදි, තනතුර හොබවන්න ලබා දුන් අවුරුදු 04 ක කාලයත් මදි කියලා අවුරුදු 20 ක් තනතුරු හොබවපු අය උසාවි ගියා. අධිකරණයත් තීන්දුවක් දීලා තිබෙනවා අවුරුදු 20 කරගෙන ගියාට කමක් නැහැ තව ඉදිරියට කරගෙන යන්න දෙන්න කියලා. අපි ඒ අධිකරණ තීන්දුවට ගරු කලා. එය ක්‍රියාත්මකයි. නමුත් මේ රටේ ක්‍රීඩාව හා ක්‍රීඩකයා රැක ගන්න අවශ්‍යම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තීරණය කළා.
මා හට ලැබෙන වැටුප් සියල්ල මම ක්‍රීඩා අරමුදලට බැර කර තිබෙන්නේ. පෞද්ගලිකව මම ව්‍යාපාර හරහා උපයන මුදලින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අද මම ක්‍රිඩා අරමුදලට ලබා දෙනවා. මම ක්‍රීඩාවට ආදරෙයි. මම මේ දෙන්නේ ධෛර්යයක්. ඔබට පවරන්නේ අභියෝගයක්. ඒ අභියෝගය තමයි නැවත ජාතික තරුණ සේවා සභාව තුළ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න ඔබ කටයුතු කරන්න.