Spread the love

මාතර -නුවන්

බාලදක්ෂ බාලක, බාලිකාවන් හා නායකයන් 20000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමළයේ දී පවත්වන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
‘‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන ජම්බෝරියේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් 21 වැනිදා ආරම්භ කරන බව හෙතෙම කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රධාන කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
ජාතික ජම්බෝරිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ නායකයන් 500ක් පමණ එක් වන බවත් ජම්බෝරි ඉතිහාසයේ ප්‍රථම වතාවට බාලදක්ෂිකාවන්ද කදවුරුගත වන බවත් ඒ මහතා කියා සිටියේය.
බාලදක්ෂ දිස්ත්‍රික් 37 නියෝජනය කරමින් බාලදක්ෂයන් 12000කට ආසන්න සංඛ්‍යාවක් දින 07 පුරා කදවුරුගත වන අතර පෝතක බාලදක්ෂයන් 8000කට ආසන් සඛ්‍යාවක් දින තුනක් පුරා කදවුර සමඟ එක්වන බව ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කීවේය.
කදවුරට සහභාගි වන බාලදක්ෂ බාලක,බාලිකාවන් යළි කදවුරෙන් පිටව යන විට වෙනස් වූ පුද්ගලයකු බවට පත් කිරීම ජම්බෝරිය තුළින් උත්සහ කරන බව පැවැසූ ඒ මහතා 21 වැනිදා සවස 2.00න් පසුව හා පසු දින සිට සෑම දිනකම පෙරවුරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතාව වෙනුවෙන් කදවුර විවෘතව තබන බව පැවැසීය.
උප කදවුරු මගින් මෙම ජම්බෝරිය ක්‍රියාත්මක වන අතර බාදක්ෂයන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්, ගිනි මැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් මෙම දිනයන් පුරා රැසක් ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය.
ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමඛ නිලධාරීන්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සියලු රාජ්‍ය ආයතන සහය ලැබෙන බවත් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවකින් හා පුද්ගලික ආයතන රැසකින් දායකත්වය ලැබෙන බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා කියා සිටියේය.
ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බව පැවැසූ ඒ මහතා රටවල් 174ක, දරුවන් ලක්ෂ 570ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින බව කීවේය.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරය විසින් පිළිගත් ලංකාවේ ඇති එකම බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය බවද ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එම් මුහීඩ්, කදවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියාල් සිල්වා මහත්වරුන් එක්ව සිටියහ.