සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේ ද අවධානය ඊට යොමුව ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබු අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළකෙරුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය පැවති දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකරී විය හැකි ස්ථාන දෙකක් හඳුනා ගෙන ඇති බවයි.
2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ සංවිධානවල ක්‍රියාකාරකම් ගැන මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබද තර්ජනයක් මතු විය හැකි ආකාර දෙකක් හඳුනා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක (පෙබරවාරි 28) ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ පිළිතුරු කතාව සිදුකරමින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය සහ උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව හඳුනා ගෙන ඇති බවත්, ඒ පසුපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින බවයි.
”ඉතිහාසය දෙස බැලුවොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ එක් අවස්ථාවක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් එහි පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදයයි.”
”පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කළා නම් ඒකේ පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි ක්ෂේත්‍රයක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය.”
”අපි යළි අපේ රට තුළ ජාතිවාදයට, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ස්ථාවරත්වයේ අපි සිටිනවා. නමුත් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතා සඳහා නීතිමය රාමුවක් අවශ්‍ය වෙනවා.”
”එසේ නොමැතිව සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ දෙන, සාමාන්‍ය නීතිය උපයෝගි කරගත හැකි සාමාන්‍ය තත්ත්වයකදී සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් එය සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි.”
”මෙවැනි සන්නද්ධ සක්‍රීයතාවයකට එන්න පුළුවන් තැන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා. එකක් මඩකළපුව. මෙවැනි තත්ත්වයකට පත්විය හැකි තැනක්. තවත් තැනක් උතුර. ඇයි.. සමහර අය විසින් තමන්ට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා. මඩකලපුවේ එහෙම සංවිධානයක් තියෙනවා, යාපනයේ කුඩා කල්ලි තියෙනවා ඒවා මෙහෙයවිය හැකි. අපි හිතනවා මේවා එකවර සක්‍රීය භාවයට ගෙන ඒම ගැන යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා.’ ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.