Spread the love


ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ හා විහාර මහාදේවී උද්‍යානය කේන්ද්‍රව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ගීතා මහෝත්සවය පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය සංවිධානය කරනු ලබයි.
ඒ අනුව පළමු (මාර්තු 01) දිනයේ දී රංගෝලි හා චිත්‍ර තරඟ, සංස්කෘතිකමය විලාසිතා අංග, ශ්ලෝක ගායනා තරඟ ,යග්ග ගායනා , පැවැත්වීමට නියමිතය.
එසේම දෙවන (මාර්තු 02) දිනයේදී ගීතා මහෝත්සවය පිළිබඳව විද්වත් කතිකාමය වැඩසටහන් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහිදී සම්මන්ත්‍රණ සඳහා දේශීය මෙන්ම ඉන්දීය දේශකයන් ද සම්මන්ත්‍රණ සිදු කරයි.
ගීතා මහෝත්සවයේ තෙවැනි (මාර්තු 03) දිනයේ දී සංස්කෘතික අංග සහිත උලෙළ , සංස්කෘතික ප්‍රසංග,ගීතා යග්ග ගායනා කිරීම සහ සත්භාවනා යාත්‍රා විශේෂ පෙරහරක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර එදින ඉන්දීය පූජකවරුන් සියයකට අධික පිරිසක් සහභාගී වන විශේෂ පූජාවක් ද පැවැත්වේ.
එසේම මෙම දිනයන් තුනෙහි දී ම සංගීත ප්‍රසංග පැවැත්වෙන අතර වෙළෙඳ සහ පොත් ප්‍රදර්ශන අලෙවි කුටි ද සූදානම් කර තිබේ.