Spread the love

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අපරාධ හා රථ වාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්.සී.මැදවත්ත පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුක‍ර යවා ඇත.

උතුරු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.පී.එම්. ගුණරත්න බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා ඇත.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී.ඒ.කේ. පියසේකර ‍කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටින්නේ.