Spread the love

ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) දිනයේදීම පියවර ගත්තේය. පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කළ බරපතළ වරදක්යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

මේ මොහොතේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් යළි පැමිණීමට තිබෙන පසුබිමක පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි ප්‍රබල සැකයක් මතු වන බව ද ඉහත ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙරාතුව කිසියම් කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත්තාදැයි වහාම සොයා බලන බව ද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාත් පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් රට තුළ නොසිටින මොහොතක පොලිස්පතිවරයා ඉවත් කිරීම මෙරට සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.