Spread the love

චීනයේ හොංෂු නුවර පැවැති 19 වන ආසියානු ක්‍රීඩා උළෙල සදහා ආරාධනා ලැබ සහභාගී වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා චීනයේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය (චීන රජයේ ක්‍රීඩා පරිපාලනයේ උප සභාපති මෙන්ම චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති) ලී යින්ග් චුවාන් මහතා අතර හමුවක් චීනයේ හොංෂු නුවර දී පැවැත්විණි.

එහි දී දෙරට අතර ඇති සබදතා පිළිබදව සුහදව සාකච්ඡා කළ අතර, ඉදිරියටත් එම සබඳතා වැඩි දියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.

මෙම ක්‍රීඩා උළෙලේදී සත්කාරකත්වය දරන චීනය වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබා ගෙන ඉහළ දක්ෂතා දක්වමින් කලාපයේ පළමු තැනට පත්වීම පිළිබදව චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ සදහා කැපවූ නිළධාරීන්ට හා චීන රජයට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සුබ පැතුම් එක් කළේය.

එයට ස්තූතිය පල කල ලී යින්ග් චුවාන් අමාත්‍යවරයා අතිශය තරගකාරී මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් ලබා ගැනීම ආකර්ණීය මෙන්ම විශිෂ්ඨ බව පෙන්වා දුන්නේය. මින් පෙර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනයේ පුහුණු අවස්ථාවන් ලබා දුන් බව ද එහි දී ඔහු සිහිපත් කළේය.

වසර 21 කට පසුව ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබදව නිහතමානීව තමන් සතුටු වන බවත්, ඉතා අවම පහසුකම් යටතේ මෙම ජයග්‍රහණයට ලබා ගත් බවත්, වඩා විධිමත් පුළුල් සහයෝගයක් ඉදිරියේ දී මෙම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට තමා ඇතුළු කණ්ඩායම පියවර ගන්නා බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රට තුළ මූල්‍ය අර්බුදයක් පැවතිය ද කළ හැකි උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ බවත්, ලබා දෙන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම යොදා ගන්නා ලෙසත් මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත උපදෙස් ලබා දුන් බව මෙහිදී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පසුගිය වර පැවති ආසියා ශාන්තිකර කලාපීය තහනම් උත්තේජක මර්ධන සැසිය සදහා තමන් පැමිණි බවත්, අර්බුද හමුවේ උවද එම සැසිය ඉතා විශිෂ්ඨ අන්දමින් සංවිධානය කර තිබූ බවත්, රැදී සිටි කාලය අතරතුර මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් නැරඹීමට අවස්ථාවක් ලැබුණු බවත් ලී යින්ග් චුවාන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය..