Spread the love


නිමල් රාජපක්ෂ-

ගොවි ජනතාවට  නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පුද්ගලීකරණය කිරීමට යන බවටත් ඇතැම් දේශපාලන පක්ෂ කර ඇති චෝදනා පදනම් විරහිත බවත්, එම ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධව කිසිදු යෝජනාවක් හෝ අඩුම තරමින් සාකච්ඡාවක්වත් රජය තුළ සිදුවී අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ අමාත්‍ය මණ්ඩලයටවත් එවැනි යෝජනාවක්වත් ඉදිරිපත් වී නැත. එසේ තිබියදී දේශපාලන වාසි තකා එක්තරා දේශපාලන පක්ෂයක ගොවි නියෝජිතයින් කියා ගන්නා පිරිසක් විසින් ගොවි ජනතාව නොමඟ යැවීම සඳහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.  

මේ සම්බන්ධව අමාත්‍යවරයා ඊයේ (09) හුංගම හාතාගල පැවැති රැස්වීමක දී අදහස් පළ කළේය. හාතාගල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් වැඩි කිරීම සඳහා පවුල් 200කට කුකුළු පැටවුන් ලබා දීමේ වැඩ සටහනක් හදබිම අධිකාරිය විසින් ආරම්භ කර තිබිනි. මේ යටතේ එක් පවුළකට කුකුළු පැටවුන් 20ක් බැගින් ලබා දීම අමාත්‍යවරයා අතින් සිදුවිය.

මේ වනවිට හදබිම අධිකාරිය විසින් කුකුළු පැටවුන් 25,000ක් ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමේ අරමුණින් ගොවි ජනතාව අතර නොමිලයේ බෙදා දී තිබේ.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

ගොවිබිම්වලට ජල ගාස්තුවක් අය කරනවා නම්  මොන කුඹුරෙද ජල මීටර් සවි කරලා තියෙන්නේ කියලා පෙන්වන ලෙස මම ඒ අයට අභියෝග කරනවා. වත්මන් රජය කිසිදු අවස්ථාවක ගොවි ජනතාවට ලබා දෙන සහන කප්පාදු කරන්නේ නැහැ. අපේ ඉළක්කය හැකි තරම් ගොවි ජනතාවට වගාව සඳහා ලබා දිය හැකි සියලු සහන ලබා දීමයි.

ඒ නිසා දේශපාලන වාසි තකා අඩුම තරමින් අක්කර භාගයක්වත් වගා නොකරන ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා ඇතැම් දේශපාලන පක්ෂ  නියෝජිතයින් කියන අසත්‍ය කතා විශ්වාස නොකරන ලෙස මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය