Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරියේදී බණ්ඩාරනායක ගුවන්තොටුපල ඇතුළු දිවයිනේ පිහිටි අනෙකුත් ගුවන් තොටුපල වල මෙහෙයුම් කටයුතු වැඩි කිරීමට ත් , ආරක්ෂාව ශක්තිමති කිරීමටත් පියවර ගෙන ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ අළුතින් පුහුණුව නිම කල 135 දෙනෙකුගෙන් යුතු ආරක්‍ෂක භට කණ්ඩායමක් විසිර යාම නිමිත්තෙන් රත්මලාන ගුවන් තොටුපල පරිශ්‍රයේ පැවති උත්සවයකදීය‍.

දැනට ගුවන් තොටුපල සමාගමේ සේවයේ නියුතු ආරක්‍ෂක භටයින් සංඛ්‍යාව 1120 ක් බව පැවසු අමාත්‍යවරයා එම සංඛ්‍යාව 1325 දෙනෙකු දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවද පැවසීය. නව ආරක්‍ෂිත උපකරණ සහ මෙවලම් බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති බැවින් ඉදිරියේදී වංචා සහගත ලෙස කිසිදු භාණ්ඩයක් , මත්ද්‍රව්‍යයක් මෙරටට ගෙන ඒමට නොහැකි වන ලෙස ආරක්‍ෂිත ක්‍රියා මාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ආරක්‍ෂක කටයුතු සඳහා විශේෂ පුහුණුවක් ලබා ගෙන තිබෙන මෙම කණ්ඩායම කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරී ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙම උත්සවයේදී පැවසීය.

මෙහීදී පුහුණු කාලයේදී දක්ෂතා දැක්වූ ආරක්‍ෂක භටයින් හට තිලිණ ප්‍රධානය කිරීම හා ලාංඡන පැළඳවීම අමාත්‍යවරයා විසින් සිදු කල අතර මෙම අවස්ථාවට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.