Spread the love


නිමල් රාජපක්ෂ-

ලබන 2024 වසර වන විට ගුවන්තොටුපල තුළ වීසා , ස්කෑන් යන්ත්‍ර, සවි කර මගී තදබදය නැති කිරීමට පියවර ගන්නා බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එලඹි සංචාරක සමයත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් විශේෂයෙන් පැමිණීමේ පර්යන්තය තුළ මගීන්ගේ තදබදයක් ඇතිවී තිබෙන බැවින් එම පර්යන්තය තුළ පවතින ඉඩකඩ කලමණාකරනය කරමින් උපරිම පහසුකම් සැලසීමට ගුවන් තොටුපල කලමණාකාරිත්වය කටයුතු කර ඇත.
ඒ අනුව පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුලු 25 ක් දක්වා වැඩි කිරීමටත්, රටට පැමිණ වීසා (On Arrival Visa) ලබාගැනීම සඳහා පැවති කවුලු 02 ට අමතරව නව කවුලු 02 ක් ස්ථාපිත කිරීමත්,රේගු කටයුතු සඳහා ඉඩ ප්‍රමාණය වැඩිකිරීමත් සිදුකර ඇත.

මීට අමතරව පැමිණීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ඉඩකඩ ඇති ස්ථානයක ස්ථානගත කිරීම තුළින් සංචාරක මගීන්ට පැවති අවහිරතාව දැන් මග හැරී ඇතර මගී විවේකාගාර පහසුකම් ද වැඩිකර ඇත.

මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.⁣මින් අනතුරුව ගුවන් තොටුපොළ තුල ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ සහ අදාළ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙහිදී අමාත්‍යවරයා ගුවන්තොටුපලේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබඳව කරුණු දක්වමින් කියා සිටියේ: 2024 වසර වන විට ගුවන්තොටුපල තුළ වීසා , ස්කෑන් යන්ත්‍ර, සවි කිරීමට කටයුතු කරන අතර, එවිට දැනට තිබෙන මගී තදබදය නැති වන බවත්, මෙම ගුවන්තොටුපලේත් නවීන තාක්ෂණය ඇතුලත් වන බවත්ය. එමෙන්ම ගුවන්තොටුපලටත්, වරායටත්, කලමණාකරණ පද්ධතියක් සැදීමට කටයුතු කර තිබෙනවා. පසුගිය කොවිඩ් අර්බුදය නිසා මෙම කටයුතු ආරම්භ කිරීමට නොහැකි වුනා. නමුත් දැන් අපට හොද අවස්ථාවක් ලැබිලා තිබෙනවා මෙම කටයුතු ආරම්භ කිරීමට.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ: ගුවන්යානා ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා මේ වන විට ඉන්ධන මෙට්ට්‍රික්ටෝන් 35000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබා දී තිබෙන බවයි.
දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පිලිබඳව කරුණු දැක්වු අමාත්‍යවරයා ,: රට බන්කොලොත් බව මහා භාණ්ඩාගාරය කියා සිටි නිසා ජපන් රජය විසින් ලබා දීමට තිබු ණය මුදල නවතා දැමු බවයි. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF ) සමඟ රජයේ ගිවිසුම් ගත වු පසු අපේ රට බන්කොලොත් රටක් නොවන බව ජාත්‍යන්තරය පිලි අරගෙන තිබෙනවා. ඒ නිසා දැන් ඒ පිලිබඳව ජපානයත් සමඟ සාකච්චා කර දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, නියෝජ්‍ය සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු ගුවන්තොටුපල නිලධාරීන් පිරිසක්ද , ආරාක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.