Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට දින කිහිපයක සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟ පිටාර ගැලීම ආරම්භ වී ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලි මහත්මිය පැවසූවාය.
ඒ අනුව මේවනවිට බද්දේගම දොඩංගොඩ පාලම අසලින් ගඟ පිටාර ගැලීම ආරම්භ වී තිබේ.
බද්දේගම ඉදිගස්කැටිය ජලජලමාපකයට අනුව ගගෙහි පිටාර මට්ටම මීටර් 03.50කි.
අද (20) පස්වරු 07.00 වනවිට එම ප්‍රදේශයෙන් ගඟෙහි ජල මට්ටම මීටර් 03.59 ලෙස සටහන් වූ බව ඉංජිනේරුවරිය පැවසුවාය.
බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම මීටර් 04කි.
ගගෙහි ඉහළ ප්‍රදේශය වන තවලම ප්‍රදේශයෙන් ද ගඟෙහි ජලමට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පැවසුවාය.
ගඟෙහි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ වනවිට තවලම ,නෙළුව ,නාගොඩ ,වැලිවිටිය දිවිතුර ,බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආර්.එල්.ඩී.ලියනගේ මහතා පැවසීය.
පවතින වැසි තත්වය තවදුරටත් පැවතුනහොත් බද්දේගම ප්‍රදේශයෙන් ඉදිරි පැය කිහිපයේදී ගිංගඟ සුළු ගංවතුර මට්ටමට පත්වනු ඇතිබව පැවසීය.
ඒ හේතුවෙන් ඒ පිළිබඳව ගඟ දෙපස ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව සහකාර අධ්‍යක්ෂවරයාපැවසීය.
ගිංගඟේ අතුරු ඇල මාර්ග පිටාර ගැලීමෙන් මේවන විට ග්‍රාමීය මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
බෙන්තර ගඟ සහ මාදු ගඟෙහි ජලමට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතියි.
මේවන විටත් ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගංගා ඉහළ පෝෂක ප්‍රදේශ වලට වැසි ලැබෙමින් පවතියි.