Spread the love

පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හතක් ලබාගත් අතර එසේ ලබාගත් මන්ත්‍රි ධුර හයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා එක් මන්ත්‍රීවරියක් මෙම ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂකයන් තුන්දෙනකුට සහාය දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට දෙලොවක් අතර අතරමං වීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන ලද වත්මන් රජයේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා, එම පක්ෂයෙන් බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තේර්පත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

එසේම පැවති මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේර්පත් වූ මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි මහතා හා ශාන් විජයලාල් ද සිල්වා මහතා මෙම ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේර්පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය මොහාන් පී සිල්වා හා ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති අතර මෙම පිරිස් මේ වන විට මෙම ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සම්බන්ධ වී ඇත.