Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිං ගඟෙහි ඉහළ පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම තවදුරටත් සීග්‍රයෙන් ඉහළ යමින් ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාන්ජලි මහත්මිය පැවසූවාය.

ඒ අනුව පස්වරු 04.00 වනවිට ගිංගඟේ ඉහළ ප්‍රදේශය වන තවලම ජල මාපකයට අනුව ගඟෙහි ජලමට්ටම මීටර් 04.31 දක්වා ඉහළගොස් තිබේ.එම ප්‍රදේශයෙන් ගඟෙහි පිටාර මට්ටම මීටර් 04 බව පැවසූවාය.ගගෙහි පහළ ප්‍රදේශය වන බද්දේගම ඉදිගස්කැටිය ජලමාපකයට අනුව ගඟෙහි ජලමට්ටම මීටර් 03.65 දක්වා ඉහළ තිබේ.

එම ප්‍රදේශයෙන් ගඟෙහි පිටාර මට්ටම මීටර් 03.50 බව සදහන් කළාය.පැයකට තවලම ප්‍රදේශයෙන් සෙන්ටිමීටර 50 පමණ ජලමට්ටම ඉහළ යමින් පවතියි.මේ අතර ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් මේවන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න මහතා පැවසීය.

නෙලුව ,තවලම ,නාගොඩ ,වැලිවිටිය දිවිතුර සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සෘජුවම ගංවතුරින් බලපෑම් එල්ලවෙමින් පවතියි.මේ අතර පීඩාවට පත්වූවන් බේරා ගැනීම සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක භට කණ්ඩායම් සහ ගුවන් හමුදා භට කණ්ඩායම් අවශ්‍ය ස්ථාන වල ස්ථාන ගත කර ඇතිබව පැවසීය.

මේවන විට නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රධාන මාර්ග ජලයෙන් යටවි තිබේ.ඒ හේතුවෙන් ගමනා ගමනයට බාධා මතුව තිබේ.නාගොඩ ,වැලිවිටිය දිවිතුර සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රධාන මාර්ග ජලයෙන් යටවෙමින් පවතියි.

මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණදීමට අවශ්‍ය පියවර මේවනවිට ගෙන ඇතිබව  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත දිසානායක මහතා පැවසීය.අවශ්‍ය උපදෙස් මේවනවිට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය