Spread the love

නිමල් රාජපක්ෂ-

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ජලගැලීම් හේතුවෙන් අවතැන්ව කඳවුරුගතව සිටින ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම්
පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල දැඩි අවධානය යොමු කර කර තිබේ

ඒ අනුව කොටුවිල ගාමිණි විද්‍යාලය, කැළණිය කැළණි විද්‍යාලය යන අවතැන් කඳවුරු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

ගැබිණි මාතාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබද විශේෂ අවධානය යොමු කරන කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට උපදෙස් ලබාදෙන ලද අතර, සනීපාරක්ෂක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, පානීය ජලය හා අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිදුවීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුවන බැවින් ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.

තවද ජලගැලීම්වලට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි රෝහල් සම්බන්ධ කරගෙන සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.