Spread the love

රුපියල් 65,760,000ක වීථි වටිනාකමකින් යුක්ත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සූපවේදිනියක් බව සඳහන් වේ. 

ඇය මීට පෙර තුන්වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඇය අලුයම ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක, පොලිතින් ඇසුරුම් තුළ ඔතා, මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සඟවා ගෙන තබු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සිදුකළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සඳහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු, ඇයට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැඳී සිටිය දී අද පස්වරු 01.30 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ. 

ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන් වේ.