කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය ලබාගැනීමට ප්‍රධාන පෙළේ නැව් සමාගමක් උත්සහ කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කර ඇතැයි සැකකරන බවත් වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද මෙම උත්සහාය සාර්ථක වුවහොත් කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්යන්ත දෙකම අහිමිව එම පර්යන්ත වල ක්‍රිකට් ගැසීමට පමණක් සිදුවන බවද වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමල් සුමනරත්න පැවසීය.
වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනයේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම සන්ධානය විසින් කොළඹදී ඊයේ (13 වැනිදා) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍යාමල් සුමනරත්න මෙසේද කීවේය.
‘‘වරාය අධිකාරිය තුළ බරපතළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පහුගිය කාලය පුරාවටම වරාය තුළ සිදුනොවිය යුතු දේවල් රැසක් සිදුවීමෙන් වරායට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඇමැතිවරයාට ලිපි දෙකක් යොමු කරලා තියෙනවා. වරාය ඇමැතිවරයා එක්ක මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව ඉල්ලා ඇතත් මේ වෙනතෙක්ම ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ.
වෘත්තිය සමිති බහුජන සංවිධාන එකතු වෙලා වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ ගිවිසුම අහෝසි කරලා, පරාජය කරලා ඒක වරාය අධිකාරිය යටතට ගත්තා. සියලු සේවකයෝ ප්‍රශස්ත විදිහට වැඩ කරන් ගියා. ඒත් නව රජය පත්වීමෙන් පසුව පත්කළ වරාය කළමනාකාරීත්වය වරාය පිළිබඳ දැනුමක්, යථාර්ථයවත් අවබෝධ කරගෙන නැතිව වැඩ කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි වරාය කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර පත් කරපු එක. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වය ඇති දැනුම ඇති නිලධාරීන් විස්සක් ඉද්දි තමයි දේශපාලන වශයෙන් මේ පත්කිරීම කරල තියෙන්නේ. මේ වනවිට කළමනාකාර අධ්‍යක්ෂවරයා පහළ කළමනාකරණ නිලධාරීන්ද සම්බන්ධ කර නොගෙන තනි කැමැත්ත මත වැඩ කරන් යනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මාර්ග සැලැස්ම හැදුවේ වරාය අධිකාරියේ ඉංජිනේරුවරුන්ට අමතරව ලෝකයේ ප්‍රකට සමාගම් දෙකක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විශේෂඥයන් සම්බන්ධ කරගෙනයි. ඒක ක්‍රියාත්මක වෙමින් තිබියදී තමයි ආණ්ඩු පෙරැළිය සිද්ධ වෙන්නේ. නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වරායේ නැගෙනහිර පර්යන්තය ඇතුව වරායේ පරිපාලනය අත්තනෝමතිකව කරගෙන යන්නේ. ඒ වගේම ඔහු නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විදිහටත් කටයුතු කරනවා. එහෙම ඉඳගෙන තමයි ඔහු කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරන්නේ. ඒ සැලැස්ම වෙනස් කරන්නේ කාගේ අවශ්‍යතාව අනුවද? නැගෙනහිර පර්යන්තයේ ලොකු වලක් හාරලා ගේට්ටුවක් හදනවා. ඒකට හේතු විදිහට කියනවා කන්ටේනර් පෙරළෙනවා කියලා. මේ මාර්ග සැලැස්ම වෙනස් කිරීම හරහා නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට හේ වෙනත් පර්යන්තයකට වාසි සැලසීමේ උත්සහායක් ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් ඇමැතිට, නියෝජ්‍ය ඇමැතිට සවිස්තරාත්මක වාර්තාවක් දුන්නත් අද වෙනකල් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.
ජනාධිපතිවරයා කියනවා නැගෙනහිර පර්යන්තය ජූනි මාසයේදී දෙන්න පුළුවන් කියලා. මට ඇත්තටම කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා ඔයා පව්. කවදාමත් ඒක කරන්න බැහැ, මේ නව කළමනාකාරීත්වයේ මේ නාඩගම් එක්ක. ඔබතුමාවත් වැරැදි තොරතුරු දීලා රවටා තිබෙනවා මේ කළමනාකාරීත්වය. මේකට ආණ්ඩුවට සම්බන්ධ නිරෝෂන් ගොරකානත් හවුල්.
සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් මතුවී තිබෙනවා. වර්තමාන පරිපාලනය නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිරිකිරීම්වලට අදාළ ටෙන්ඩර් අවලංගු කිරීමෙන් ඉදිකිරීම් තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා. මේ දුර්වලතා නිසාම වරාය සමග ගිවිසුම්ගතව සිටින නැව් සමාගම් ඉවත්ව යන්නට පටන්ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත්ව යන නැව් සමාගම් සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යන්න පුළුවන්.
ආණ්ඩුව ඔබතුමාලගේ තමයි. ඒත් වරාය අපේ රටේ. මේ වරායේ යන නාඩගම් ටික නවත්වලා පිස්සෝ ටික පාලනය කරන්න. නැත්තම් අනාගතයට වරාය ඉතිරි වෙන්නේ ජේ.සී.ටී එකේ ක්‍රිකට් ගහන්න. ආණ්ඩුවත්, වරාය සභාපතිවත්, උප සභාපතිවත් අන්දන මේ අය හොයන්න. වරායේ පර්යන්ත හතරෙන් දෙකක් අපේ. තව දෙකක් පෞද්ගලික. අපි හැප්පෙන්නේ පෞද්ගලික අංශය එක්ක. ඒකෙන් අපේ රටට ගොඩයන්න පුළුවන් එකම මාර්ගය නැගෙනහිර පර්යන්තය. මේක රැක ගන්න අපි සටන් කරනවා. කිසිදු ආකාරයකින් මේ කූඨ උත්සහායන් ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නැහැ.