කොළඹ නගරය ගොඩ නැගූ පිරිසක් ලෙස කොළඹට යළිත් වසන්තය කැඳවීම සඳහා තම පක්ෂය කොළඹ ජනතාවගෙන් බලය ඉල්ලා සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ආගමික ආශීර්වාද ලබා ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“කොළඹ මහ නගර සභාවට තරඟ කරන අපේ අපේක්ෂක අපේක්ෂිකාවන් සියලු ම ආගම් වලට අයිති ඒ මූලස්ථාන වලට ගිහිල්ලා අපි අද අපේ අභිලාෂය ප්‍රකාශ කළා. අපි පටන් ගත්තේ ගංගාරාමයෙන්. ඊළඟට දවටගහ පල්ලියෙන්. ඊළඟට මේ කතෝලික සිද්ධස්ථානය කොම්පඤ්ඤ වීදිය. ඒ වගේ ම අපේ කොම්පඤ්ඤවීදියේ හින්දු කෝවිල. මේ ආයතන හතරට ම ගිහිල්ලා අපි අද ආශීර්වාදය ලබා ගත්තා මේ කොළඹ නගරය නැවත ගොඩනගන්න.
මොකද අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ. ඊට පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ තැබිලා නැහැ. විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ කසල ප්‍රශ්නය අපි විසඳුවා. ඒ වගේ ම කොළඹ නගරයට ගංවතුර උවදුරක් තිබුණා කැලණි ගඟෙන් ඒ ප්‍රශ්නය අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තියෙනවා කරන්න. කොළඹ නගරයේ මලාපවහන ගැටළු, ඒ වගේ ම අප ජල ගැටලු, ජල පානීය ජල ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ නගරයේ මේ බේරේ වැව වටේට අපි විශාල මංතීරු ප්‍රමාණයක් ඉදි කරලා කොළඹ නගරය ලස්සන කරන්න වැඩ කළා. ඒ ලස්සන අද අපට පේනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ නගරයේ බහුතරයක් ඉන්නේ, 70% ක් ඉන්නේ දුගී ජනතාව. ඒ දුගී ජනතාවගෙන් අඩකට පමණ අපට පුළුවන් වුනා නිවාස ලබා දෙන්න. ඉතිරි අයට නිවාස ලබා දීමේ වැඩසටහනක් අපි කරනවා. කොළඹ නගරයේ ආදායම් දෙගුණ කරන්න අපි කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාවට කිසිම බරක් නොවන විදිහට.
අපි 2015/19 කාලයේ මහා නගර අමාත්‍යාංශයෙන් ගෙන ගිය කොළඹ නගරයේ වැඩපිළිවෙළ අපි නැවත දියත් කරනවා. කොළඹට ආයෙ වසන්තය අවශ්‍යයි. එක ගඩොලක් තියපු නැති මිනිස්සු කොළඹ වෙනුවෙන් බොරු කයිවාරු වලින් පමණක් කොළඹ නගරයේ ගොඩනගන්න කතා කරන අය. ඒ වගේ ම පරණ පක්ෂවල පරණ මූලයන්ට කතා කර කර ඒ පාක්ෂිකයන්ගේ ඇඟේ තියෙන ලේ කුලප්පු කර කර, අපේ පක්ෂෙට ඡන්දේ දෙන්න කියන අය වෙනුවට කොළඹ නගරය ගොඩනගපු පිරිසක් හැටියට, කොළඹ නගරය ඉදිරියට ගොඩනගන්න ඉන්න පිරිසක් හැටියට අපි බලය ඉල්ලනවා. වරම ඉල්ලනවා කොළඹ නගරයේ ජනතාවගෙන්. කොළඹට යළිත් වසන්තය කැඳවන්න.”