Spread the love

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව අද (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කළේය.

එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවයි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී සඳහන් කළේ.

“මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි… ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්.”

“ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ.” “

ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ.”

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (15) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.