Spread the love

කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව විසින් කෘෂිකාර්මික ඩ්‍රෝන යානා 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට (17) භාර දීම සිදුකෙරුණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා භාර දීම සිදු කළ අතර, එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂි අංශ නිපුණතා සභාවේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වී, බඩඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝගවලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි අතර, එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන ඇත.

එක් ඩ්‍රෝන යානාවක් උපයෝගී කර ගැනීම මඟින් පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකිය. එමෙන්ම, වී වැපිරීම සඳහා ද මෙම තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ කෘෂි අංශ නිපුණතා සභාව විසින් ලබා දෙන මෙම ඩ්‍රෝන යානා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබා දීමට පියවර ගන්නා බව පැවසීය.

අද දින භාර දෙන ලද ඩ්‍රෝන යානාවල මුළු වටිනාකම රුපියල් මිලියන 250කි.

මෙම ඩ්‍රෝන යානා 100 කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර වැනි සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ ඩ්‍රෝන යානා සංකේතාත්මකව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න මහතාට භාර දෙනු ලැබීය.