Spread the love

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි පිටපතක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි ව ඇති ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොර ව පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ලිපියෙන් අවධාරණය කරයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පිළිවෙත අනුව සාමාජික රටවල පාලක මණ්ඩලත් දූෂණය පිටුදැකීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා යොමු කළ ලිපියේ සඳහන්ය.