Spread the love

කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. කිසි විටෙකත් ඒවා භාවිත නොකරන බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් කෝපා කමිටුවට දැනුම් දුන් අතර කඳුළු ගෑස් අපහරණ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගියදා කෝපා කමිටුව එහි සභාපති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ඊට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්වුණා. එහිදී කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිසියට දැනුම් දුන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කඳුළු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලාහල පාලනයේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ හිඟය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, පොලිස් කොස්තාපල්වරියන් 2,419ක පුරප්පාඩු පවතින බවයි එහිදී හෙලිවුණේ.

මේ අතර, පොලිස්පතිවරයා කෝපා කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.