Spread the love

නාගොඩ සුමන

ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහර දුන් බව කියන රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවක් සහ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට බව ගාල්ල පොලීසිය පවසයි.
එම වෛද්‍යවරයා විසින් පසුගිය 17 වැනිදා සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 ක්වූ සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ 45 හා 43 හැවිරිදි කාර්ය සහායකයන් දෙදෙනෙකි.

පසුගිය 16 වැනි දා පැවති සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය මුල් කරගනිමින් කරාපිටිය ශික්ෂ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ එම ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අතර ආරවුලක් හටගත්තේය.

එහි දී කණිෂ්ට සේවකයන් විසින් තමාට පහර දුන් බවට වෛද්‍යවරයා මෙම පැමිණිල්ල සිදු කර තිබුණි.

මේ අතර එම අවස්ථාවේ වෛද්‍යවරයා විසින් පහර දුන් බව කියන කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක් රෝහල්ගත කර තිබේ.

සිද්ධියට අදාළ ව පසුගිය 18 වැනි දා අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව හෙට (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.