Spread the love

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බැව් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි ඉහළ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ. ඩොලරයේ අගය රුපියල් 190.00 සිට රුපියල් 370.00 දක්වා විචල්‍ය වූ පරාසය තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහළ ගියද මේ වනවිට ඩොලරයේ අගය විශාල ලෙස පහළ බසිමින් තිබෙන තත්ත්වයක් තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව අඩු විය යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විදුලි බිල ඉහළ යාම , බැංකු පොලී අනුපාත ඉහළ යාම ඇතුළු අනෙකුත් සාධකයන්ද මේ තුළ සැලැකිල්ලට ගත යුතු යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් රටේ අහිංසක ජනතාවට අවශ්‍ය ඖෂධ උපරිම සාධාරණ මිලට ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ඉතාම කඩිනමින් මේ සම්බන්ධයෙන් මිල කමිටුව ඇතුළු අදාළ අංශ හා නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් මෙරට ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවට ජනාධිපතිවරයා විසින් ද පෙන්වාදී ඇති බැව් මෙහිදී පැවසූ අමාත්‍ය රඹුක්වැල්ල මහතා ඒ සඳහා ද පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ නිලධාරීන් වෙත දැනුම් දුන්නේ ය.

මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුබද්ධ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය ජාත්‍යන්තර මට්ටමට පුළුල් කිරීමට හෝ නව රසායනාගාරයක් ඉදිකිරීමේ කාලීන අවශ්‍යතාව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවශ්‍ය කටයුතු කෙටුම්පත් කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.