Spread the love

මහජන පීඩාවන් ඇති නොවන පරිදි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ දැනට පවතින සීමා සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි.

එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාලසීමාව දීර්ඝ කරගැනීම, ක්‍රීඩාංගණ වෙන් කරගැනීම හා ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ (24) සංස්කෘතික අමාත්‍යාංශයේදී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් එළිමහන් සංගීත ප්‍රසංග කලාකරුවන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර, මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත්, එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් කටයුතු කරන බවයි.