Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද දහවල් 12 වනවිට උතුරු නැගෙනහිර පළාත්වල මරණයට පත් වූ එළගවයින්,මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් පවසයි.
මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත

මේ අතරින් උතුරු පළාතේ එළ හා මී ගව මරණ 691ක් හා එළු මරණ 296කි,උතුරු පළාතේ තවදුරටත් රෝගාතුරව සිටින සතුන් ප්‍රමාණය 329කි. ඒ අතර ගවයින් 182ක් හා එළුවන් 147ක් ද වේ.
නැගෙනහිර පළාතේ මරණයට පත්ව ඇති එළගවයින් සංඛ්‍යාව 511කි. එමෙන්ම මී ගවයින් 44ක් හා එළුවන් 108ක් ද මරණයට පත්ව ඇත.
එමෙන්ම රෝගී තත්ත්වයෙන් පසුවන එළ ගවයින් ප්‍රමාණය 15ක් වන අතර මී ගවයින් ප්‍රමාණය 01කි.
මින් දින දෙකකට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල වාර්තා වූ මරණයට පත් සමස්ත සතුන් සංඛ්‍යාව 1096කි.
එමෙන්ම අපේ රටේ පශු සම්පත් පාලනයේ නිරතව සිටින ගොවීන්ට මෙවැනි කාලගුණික තත්ත්වයන් තුළ තම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විදිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
මෙවැනි කාලගුණික විපර්යාස ඉදිරි කාලය තුළ තවත් ඇති විය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා උචිත වැඩ පිළිවෙළක් වහා සැකසිය යුතුව ඇති බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
.