Spread the love

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූයේ ටැබ්‍රිස් නගරයේදී ය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් ටෙහෙරාන් අගනුවරට ගෙනඒමට සැලසුම් කර ඇත්තේ අද රාත්‍රී කාලයේදී ය.

ඉන් අනතුරුව හෙට (22) පෙරවරුවේ සිට රයිසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් රැගත් අවමංගල පෙරහැරක් ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිට අසාදී චතුරස්‍රය වෙත ගමන් කිරීමට නියමිතව තිබේ.

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගි වන නිල අවමංගල උත්සවය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.

බ්‍රහස්පතින්දා දින පෙරවරුවේදී පිරිසගේ දේහයන් දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත රැගෙන යනු ඇත.

ඒ රයිසි ජනාධිපතිවරයා, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙනි.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත් වේ.

මේ අතර, ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබිණි.

ශුද්ධෝත්තම පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගුටේරස් ද ඒ අතරට අයත්ය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිහඬතාවක් පැවැත්විය.

ඒ් ඊශ්‍රායලයේ ප්‍රබල විරෝධය මධ්‍යයේය.

මේ අතර ඉරාන නායකයාගේ සහ විදෙස් කටයුතු ඇමතිවරයාගේ අභාවයට හේතුවූ හෙලිකොප්ටර් යානා අනතුරට තම රටේ සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ඒ මාධ්‍යවේදීයෙක් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්නකිරීමකදීය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මරණයෙන් හිස්වූ ධුරය සඳහා නව නායකයෙක් පත්කරගැනීම සදහා වන ජනාධිපතිවරණය ලබන ජූනි 28 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉරාන ව්‍යවස්ථාදායකය, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව එක්ව මෙම තීරණය ගෙන තිබිණි.