Spread the love

එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන

“අපට පෙනෙනවා පාර්ලිමේන්තුවත් කාලගෝට්ටි වලට ගිහිල්ලා අයවැය විවාදය නිසරු එකක් බවට පත්වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ පුරාජේරු කතා, අපහාස, උපහාස අපි දන්නවා පහුගිය සතියෙත් පාර්ලිමේන්තුවේ ගත කරපු ආකාරය. මන්ත්‍රීවරරු අතලොස්සක් පමණයි මේ ආර්ථික බර මැනවින් ආර්ථික විද්‍යානුකූලවත්, දේශපාලනිකවත් ග්‍රහණය කරගෙන තියෙන්නේ. අයවැය ලේඛනය යථාර්ථවාදීව තක්සේරු කරන්න පුළුවන් අය ඉන්නෙත් කිහිප දෙනයි. මේ රටේ ආදායම් අහිමි වෙලා තියෙනවා. අහිමි වෙච්ච ආදායම් කොහොමද එකතු කරගන්නේ කොහොමද කියන එක සමහරවිට මේ අයවැය ලේඛනයටත් වඩා ඉදිරියට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන් අය ඉන්නෙත් අතලොස්සයි. හැබැයි අවාසනාවකට ඒ මන්ත්‍රීවරුන්ට ඒ තරම්ම ලොකු වෙලාවක් හම්බවෙන්නේ නැහැ. ජනමාධ්‍යයෙනුත් එහෙම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ලොකු වැදගත් සංවාදයක් කෙරෙන්ට ඕන වෙලාවක, මහජනයාත් එකතු කරගෙන මේ රටේ මේ අයවැය ලේඛනය වගේ දේවල් වලදී කෙරෙන්නේ නිසරු, බොල් පුරාජේරු, පුරසාරම් කතා සහිත සංවාදයක්. අන්න ඒ නිසා, අපේ පක්ෂය තීන්දු කළා, මේ ආර්ථික කරුණ. ඒක තමයි අද රටේ දේශපාලන න්‍යාය පත්‍රය. ලබන අවුරුද්දේ මැතිවරණ වලත් මේක තමයි දේශපාලන න්‍යාය පත්‍රය වෙන්නේ. කොහොමද නැවත අපේ රට ධන උපායන රටක් බවට පත් කර ගන්නේ? දැන් මේ ආර්ථික කාරණය අපට වැදගත්. දැන් මේ වෙනුවෙන් මේ සංවාදය මහජනතාව අතරට ගෙනියන්ට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා පැය 24 ක් යන්නට කලින්ම පක්ෂය හැටියට අපේ මතය ප්‍රකාශ කරලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්න තීන්දු කළේ. මෙතනින් අපි නවතින්නේ නෑ. මේ වෙනුවෙන් සම්මන්ත්‍රණ, ක්‍රියාමාර්ග, මහජනයාත් එක්ක කරන සංවාද ගොඩක් අපි කරගෙන යනවා. අද දවලුත් එහෙම දෙයක් අපි සංවිධානය කරලා තිබෙනවා.”

එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක

“නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මං කැමතියි මේ නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීම ගැන අදහස් දක්වන්න. අපි නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්නකොට අපේ අමාත්‍යවරයා වශයෙන් හිටියේ මේ පාඨලී චම්පික රණවක මහත්මයා. රුපියල් බිලියන 57 ක් අපේ එම යුගයේදී මේ නිවාස ව්‍යාපෘති සඳහා වැය කරා. යම්කිසි ප්‍රමාණයක් අපිට රජය මගින් ලබා දුන්නා. නමුත් මේ කෝටි 5700 න් වැඩිම මුදලක් වැය කරලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්. එවකට ඒ කාලයේදී රු. මි. 3.5 ක් එක නිවසක් වැය වුණා. මෙයින් ඇස්තමේන්තු කරලා තිබුණේ මිලියන 2.5 ක් තමයි නිදහස් කරගත්ත ඉඩම් විකිණීම මගින් ලබාගන්න පුළුවන් ආදායම විදිහට හඳුනාගෙන තිබුණේ පර්ච් එකකින්. එතකොට එක මිලියනයක් ලබා ගැනීම සඳහා තමයි අර රුපියල් තුන්දහසක දීමනාවක් මාසිකව මේ නිවාස හිමියන්ගෙන් අය කළේ. නමුත් මේ අයවැය යෝජනාවේ හැටියට මේ රුපියල් තුන්දාහක් ඉවත් කරලා, ඒක අය කරන්නෙත් නැතුව නිවස නොමිලේම ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තුන්දාහ ගෙව්වෙත් නෑ බොහෝ දෙනෙක්. ඒක නිසා මේක තවදුරටත් බරක් වෙමින් තමයි තිබුණේ මේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ නිසා මං හිතන්නේ මේ යෝජනාව මගින් ඒ බර සැහැල්ලු වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා ඒක තුළින් යම්කිසි යහපත් දෙයකුත් සිද්ධ වෙලා තියෙනවා.

මෙම ව්‍යාපෘතියේ ගරුත්වය ලැබිය යුත්තේ පාඨලී චම්පික රණවක මහත්මාට. ඔහු තමයි මේ සඳහා අපිට නායකත්වය දුන්නේ. හැබැයි අපි මතක තියා ගත යුතුයි මේ බිලියන එකක් එක නිවසකට, මිලියන එකක් බැගින්, බිලියන විශාල ප්‍රමාණයක් විස්සක් පමණ මේ ඉඩම් විකිණීම මගින් උපයා ගැනීමට සැලසුම් කරලා තිබුණා. ඒ නිසා මේ ඉඩම් ආරක්ෂා කරගැනීමේ වගකීම රජයට තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියටත් තියෙනවා. ඒ ඉඩම් රැකගත්තේ නැත්නම් ඒ බරත් දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඉතින් ඒ නිවාස හිමියන්ට සුභ පතන ගමන් අපි රජයෙන් ඉල්ලා සිටින්නට කැමතියි මේ වැය කරපු මුදල්වල ඒ ඉඩම් විකිණීම මගින් ලබාගත යුතුව තිබෙන ආදායම නාගරික සංවර්ධන අධිකාරියට ලබාදීම සඳහා කටයුතු කළ යුතුයි කියලා. දිවයින පුරා ම මේ වගේ නිවාස වලට ණය අරගෙන, ණය ගෙවා ගන්න අමාරු ජනතාව. ඉතින් නාගරික නිවාසවල ඉන්න ජනතාවට ඒ දෙන සහනය අනෙකුත් මේ දිවයින පුරා ම සිටින ජනතාවටත් දිව යුතුයි කියන එකයි අපේ හැඟීම. එහෙම නැත්නම් ඒක එක කොටසකට විතරක් විශේෂයක් කිරීම වගේ පෙනෙන්නට පුළුවන් මේ රටේ ජනතාවට දැනෙන්නට පුළුවන්.”