Spread the love

ඉන්දිය රජයේ ආධාර යටතේ තම වතුයායේ ඉදි කිරිමට යෝජිත වතු නිවාස පනහක් නිවාස නොමැති අයට ලබා නොදි නිවාස ඇති අයට බෙදා දිමට වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිතියක් කටයුතු කරන බව පවසමින් බගවන්තලාව වතුයායේ වතු කම්කරුවන් පිරිසක් (15) දින බගවන්තලාව තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නියැලුණි.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉන්දිය රජයේ ආධාර යටතේ වැවිලි මානව සම්පත් භාරය මගින් වතුකරය පුරා තනි නිවාස ඉදි කරන බවත්, එම නිවාස යෝජනා ක්‍රමයට අනුව තම වතුයායේද නිවාස පනහක් ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් ඉඩමක් ලබා දි ඇති බවයි.

ඉදි කිරිමට යෝජිත නිවාස පනහක් බෙදා දිමට මේ වන විට තම වතුයායේ ප්‍රධාන වෘත්තිය සමිතියක සමාජිකයන් විසින් රු හැටදහසක මුදලක් අය කර ඇති බවත්, එසේ මුදල් ලබා දි නිවාස ලබා ගැනිමට සුදුසුකම් ලබා ඇත්තේ තම වතුයායේම නිවාස තිබෙන අය බවයි විරෝධතාවයේ නියැලි සිටි එම වතුයායේ නිවාස නොමැතිව තාවාකාලික නිවාස වල රැදි සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

වතුකරයේ අඩු ආදායම්ලාභි නිවාස නොමැති අයට ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කරන නිවාස ලබාදෙන ලෙස ඉන්දිය රජයෙන්ද යෝජනා කර ඇති බවත්, එම යෝජනාවට පටහැනිව එම වෘත්තිය සමිතිය විසින් එහි සමාජිකයන්ට සහ නිවාස හිමි අයට නව නිවාස ලබාදිමට කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් එම වතුයායේ පාලන අධිකාරියේ නිලධාරියෙකු විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ නිවාස ඉදි කිරිමට ඉඩම් කැබැල්ල පමණක් තම වතුයාය මගින් ලබා දි ඇති බවත්, නිවාස ඉදි කිරිම් කටයුතු සහ නිවාස ලබාදිමේ කටයුතු වැවිලි මානව සම්පත් භාරය මගින් සිදු කරන බවයි.