Spread the love

ඉදිරි මාස කිහිපයේ දුෂ්කරම කාලයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් තත්ත්තවය භයානක වුවත් ජනතාව එය දැනගත යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා එසේ සඳහන් කළේ ජාතිය ඇමතු අවස්ථාවේදීය, ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකට පත්ව ඇති බැවින් 2022 අයවැයෙන් රුපියල් බිලියන 2300 ක ආදායමක් පෙන්නුම් කළත් සැබෑ ආදායම රුපියල් බිලියන 1600 කි. එම වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3300 ක් වුවත් පොලී වැඩිවීම හේතුවෙන් රජයේ වියදම රුපියල් බිලියන 4000 දක්වා වැඩිවී ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

2022 වසර සඳහා අයවැය හිඟය රුපියල් බිලියන 2400 ක් වන බවත් එය දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 13 ක් දක්වා වර්ධනයවී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කලේය. ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලයේදි බණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කලේය.

2019 නොවැම්බර් වෙද්දි මෙරට විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 7.5 ක් තිබූ අතර අද වන විට ඩොලර් මිලියනකවත් හොයා ගැනීමට හැකියාව නොමැති බවත් පොලිම් අඩු කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් ඉදිරි සතිය ඇතුළත සොයාගත යුතු බවයි අගමැතිවරයා සඳහන් කළේ.

මෙරට පෙට්‍රල් ඇත්තේ එක් දිනකට පමණක් බවත් ඉන්දීය ණය ආදාර යටතේ පෙට්‍රල් නෞකා 2 ක් හා ඩීසල් නෞකා දෙකක් පැමිණිමට නියමිත බවද අගමැතිවරයා සඳහන් කළා. දෛනික විදුලි කප්පාදුව තව දින කිහිපයකින් පැය 15 ක් දක්වා වැඩිවීමේ හැකියාව ඇති බවත් නමුත් අවශ්‍ය මුදල් මේ වන විට සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ නව අයවැයක් ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්ධන සහ විදුලියේ රජයට විශාල පාඩුවක් සිදුවනු ඇත. ඉදිරිය ගෙවූ කාලයටත් වඩා දුෂ්කර බවත් ඇත්ත තත්ත්වය භයානක වුවත් ජනතාව එය දැනගත යුතු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතමින් වැඩිදුටත් සඳහන් කළේ.