ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර පිහිටි සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව වසා දැමීමට එරට නියාමකයන් පියවරගත් බව වාර්තා වෙයි. එරට පවතින ඉහළ පොළී අනුපාත හේතුවෙන් ඇති වූ ද්‍රවශීලතා අර්බුදය SVB බැංකු කඩා වැටීමට ලක්වීම මෙලෙස එය වසා දැමීමට හේතුව වී තිබේ.
ඒ අනුව මේ වනවිට කැලිෆෝනියාවේ මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව බැංකුවෙහි පාලනය භාර ගෙන ඇතැයි සඳහන් වෙයි. එසේම එහි තැන්පත්කරුවන්පිළිබඳ කටයුතු කිරීම එරට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) වෙත භාරදී තිබේ.
ලෝක ආර්ථික අවපාතය ඇති වූ 2008 වසරෙන් පසුව එක්සත් ජනපදයේ බැංකුවක් වෙත ඇති වූ දරුණුතම අවස්ථාව මෙය ලෙසින්ද සැලකෙයි.
මේ තත්ත්වයත් සමගින්ම එම බැංකුවෙහි තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදී එම බැංකුව ඉදිරිපිට දිගු පෝළිම් ගැසී තිබුණු බව වාර්තා වෙයි. එසේම මෙම සිදුවීමත් සමගින්ම අද වනවිට එක්සත් ජනපදයේ සමස්ත බැංකු පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව සඳහන් වෙයි.
මෙම පියවරත් සමගින්ම ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව සතුව එම බැංකුවෙහි ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 175ත පමණ මුදලක බලය හිමිව තිබේ. මෙය එරට 16 වැනියට විශාලතම බැංකු තැන්පතුව ලෙසින්ද සැලකෙයි.