Spread the love

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දෙරටෙහි සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගිතාව පුළුල් කිරීම හා වෙළෙඳ සහ ආයෝජන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් එක් කරන උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය සඳහා ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරානයට ස්තූතිය පළ කළේය.

උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිය උත්පාදනයට අමතරව වියළි බිම් අක්කර 50,000 කට වාරි ජලය සැපයීම සඳහා ඝන මීටර් මිලියන 145 ක ජලය සපයයි. මෙම සාර්ථක ව්‍යාපෘතිය පිළිබඳව සතුට පළ කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, බලශක්තිය, ජලය, කෘෂිකර්මාන්තය, නැනෝ තාක්‍ෂණය, ඖෂධ සහ ජෛව තාක්‍ෂණය පිළිබඳ ඔවුන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ඉදිරි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරානය උනන්දු වන බව සඳහන් කළේය.