Spread the love


නිමල් රාජපක්ෂ-

ඇමරිකානු ඩොලර් මිලියන 540 කින් කොළඹ වරායේ විශාලතම සහ ප්‍රථම අර්ධ ස්වයංක්‍රීය ⁣බහාලුම් පර්යන්තය ලෙස නැගෙනහිර පර්යන්තය ඉදිවෙයි.
මෙහි විශාල නෞකා 03ක් එකවර නැංගුරම් කලහැකි මීටර් 1320 දිගින් යුතු නැංගුරම් පොලක්,බහාලුම් 55,000 තැන්පත් කල හැකි හෙක්ටයාර් 84 යුතු අංගනයක් ඉදි කරනු ඇත.
එමෙන්ම මෙහෙයුම් කටයුතු සඳහා ලොව විශාලතම සහ නවීනතම අර්ධ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 12ක් සහ අංගන දොඹකර 40 ක් මෙම පර්යන්තය තුළ සවි කරනු ලබන අතර. මේ වනවිට ගැන්ට්‍රි දොඹකර 06 ක් සවිකර මෙහෙයුම් කටයුතු සඳහා යොදාගෙන ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවන්ගේ සියලු සැලසුම් වලට අනුව වරාය අධිකාරියේ අරමුදලින් ඉදිකෙරෙන මෙම නැගෙනහිර පර්යන්තය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 540 වැයවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිමකර ආරම්භ කිරීමෙන් අනතුරුව වසරකට බහාලුම් මිලියන 3ක් පමණ බහාලුම් සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කලහැකි බවට වරාය අධිකාරිය විශ්වාසය පලකරයි.
මෙම නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වල පවතින වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී අමාත්‍යවරයා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරමින් ලබන සැප්තැම්බර් මස වනවිට මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කරන ලෙසටයි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.