Spread the love

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම හා රුව භාවිත කරමින් වංචනික ලෙස මුදල් එක් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කර තිබේ.

එමෙන්ම සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසටද මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා මෙහිදි නියෝග කෙරිණි.

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කිසියම් පිරිසක් විසින් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එ් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් මත එම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින බවත්ය.

ඊට අදාළ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබා දෙන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය.